10/14/11

වී බිස්ස


                        අතීත ගම්මැද්දේ තිබූ තාක්ෂණයෙන් උසස් උපකරණයක් ලෙස වී බිස්ස හැදින්වෙනවා. යාපහුවට ආසන්න ගම්මැද්දකදී අපට හමුවු මෙම වී බිස්ස තවමත් භාවිතයේ පවතිනවා. එක් කන්නයනදී රැස් කර ගන්නා වී අනෙක් කන්නය තෙක් පරිස්සමින් පාරිභෝජනය කිරීමට ගැමි ජනතාවට සිදුවනවා. විවිද සතුන්ගේ හානි වලින් තම අස්වැන්න ආරක්ෂාකර ගැනීමට වී බිස්ස උපකාරී වනවා. වී, කුරහන්, හා අනෙකුත් ධාන්‍ය සදහා වෙන වෙනම බිස්සවල් අතීතයේදී ගම ගෙවල්වල සකස් කොට තිබුනා.   

10/6/11

දුම්බර රටා

                         අද අපි ගමන් කරන්නේ තලගුණේ ගම්මානය සොයාගෙනයි. මහනුවර සිට මහියංගනය දක්වා දිවෙන මාර්ගයේ හුන්නස්ගිරියට පසුව හමුවන උඩුදුම්බර නගරයෙන් හැරී තලගුණේ ගම්මානයට ගමන් කළ හැකියි. දුම්බර කඳුවැටිය පාමුල පිහිටා ඇති තලගුණේ ගම්මානය සුන්දරත්වය කැටිවුණ ගම්මානයක්. ගම්මානයට සුන්දරත්වය එක් කරන්නට කඳුවැටිය, කුඹුරු යාය වගේම පාරම්පරික කර්මාන්තයන්ද දායක වනවා. 
                                   මේ තමයි තලගුණේටම අවේණික වුන පාරම්පරික දුම්බර රටා කර්මාන්තය. අතීතයේදී දුම්බර රටා සහිත පැඳුරු පිළිබඳව අප අසා තිබෙනවා. නමුත් වර්තමානයේ දී දුම්බර රටා යෙදු බිත්ති සැරසිලි කලාවක් දක්නට ලැබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීම ලංකාව පුරාම දක්නට ලැබුනත් දුම්බර රටා තලගුණේ ගම්මානයට පමනක් සීමා වී තිබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීමේදී භාවිතා කරන යන්ත‍්‍රයම භාවිතා වුවත්, එයින් නිර්මාණය වන දුම්බර රටා සුවිශේෂී වනවා. විජය රජතුමා ලංකාවට ගොඩබසින විට කුවේණිය කපු කටිමින් සිටි බව ලංකා ඉතිහාසයේ සදහන් වනවා. දුම්බර රටා විවීමේ කලාවද එම යුගයේ සිටම පැවත එන්නක් බව විශ්වාස කෙරෙනවා.


කෝවක්කා

                 වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන මෙම රසවත් පලා වර්ගය කෝවක්කා ලෙස හඳුන්වනවා. කෝවක්කා වැලෙහි ලපටි කොළ ගම්වැසියන් මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරනවා. කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හඳුන්වනවා. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කපා දමනවා. එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය සදහා තබා ගන්නවා. ඔසු ගුණ පිරි එම ජලයෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන් පවසනවා. 
                       කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගන්නවා. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබෙනවා. කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වනවා. මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සදහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබෙනවා.