10/14/11

වී බිස්ස


                        අතීත ගම්මැද්දේ තිබූ තාක්ෂණයෙන් උසස් උපකරණයක් ලෙස වී බිස්ස හැදින්වෙනවා. යාපහුවට ආසන්න ගම්මැද්දකදී අපට හමුවු මෙම වී බිස්ස තවමත් භාවිතයේ පවතිනවා. එක් කන්නයනදී රැස් කර ගන්නා වී අනෙක් කන්නය තෙක් පරිස්සමින් පාරිභෝජනය කිරීමට ගැමි ජනතාවට සිදුවනවා. විවිද සතුන්ගේ හානි වලින් තම අස්වැන්න ආරක්ෂාකර ගැනීමට වී බිස්ස උපකාරී වනවා. වී, කුරහන්, හා අනෙකුත් ධාන්‍ය සදහා වෙන වෙනම බිස්සවල් අතීතයේදී ගම ගෙවල්වල සකස් කොට තිබුනා.   

10/6/11

දුම්බර රටා

                         අද අපි ගමන් කරන්නේ තලගුණේ ගම්මානය සොයාගෙනයි. මහනුවර සිට මහියංගනය දක්වා දිවෙන මාර්ගයේ හුන්නස්ගිරියට පසුව හමුවන උඩුදුම්බර නගරයෙන් හැරී තලගුණේ ගම්මානයට ගමන් කළ හැකියි. දුම්බර කඳුවැටිය පාමුල පිහිටා ඇති තලගුණේ ගම්මානය සුන්දරත්වය කැටිවුණ ගම්මානයක්. ගම්මානයට සුන්දරත්වය එක් කරන්නට කඳුවැටිය, කුඹුරු යාය වගේම පාරම්පරික කර්මාන්තයන්ද දායක වනවා. 
                                   මේ තමයි තලගුණේටම අවේණික වුන පාරම්පරික දුම්බර රටා කර්මාන්තය. අතීතයේදී දුම්බර රටා සහිත පැඳුරු පිළිබඳව අප අසා තිබෙනවා. නමුත් වර්තමානයේ දී දුම්බර රටා යෙදු බිත්ති සැරසිලි කලාවක් දක්නට ලැබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීම ලංකාව පුරාම දක්නට ලැබුනත් දුම්බර රටා තලගුණේ ගම්මානයට පමනක් සීමා වී තිබෙනවා. අත් යන්ත‍්‍ර රෙදි විවීමේදී භාවිතා කරන යන්ත‍්‍රයම භාවිතා වුවත්, එයින් නිර්මාණය වන දුම්බර රටා සුවිශේෂී වනවා. විජය රජතුමා ලංකාවට ගොඩබසින විට කුවේණිය කපු කටිමින් සිටි බව ලංකා ඉතිහාසයේ සදහන් වනවා. දුම්බර රටා විවීමේ කලාවද එම යුගයේ සිටම පැවත එන්නක් බව විශ්වාස කෙරෙනවා.


කෝවක්කා

                 වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන මෙම රසවත් පලා වර්ගය කෝවක්කා ලෙස හඳුන්වනවා. කෝවක්කා වැලෙහි ලපටි කොළ ගම්වැසියන් මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරනවා. කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හඳුන්වනවා. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කපා දමනවා. එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය සදහා තබා ගන්නවා. ඔසු ගුණ පිරි එම ජලයෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන් පවසනවා. 
                       කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගන්නවා. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබෙනවා. කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වනවා. මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සදහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබෙනවා.

6/17/11

සුන්දරත්වය

             ඇවිද්දපය රූපගතකිරීම සදහා ගමින් ගම සැරිසරණ විට සුන්දර ස්ථාන බොහොමයක් දැක ගත හැකි වුණා.සමහර වෙලාවට අපේ නවාතැන වෙන්නේ වැව් තාවුල්ලක්, එහෙමත් නැත්නම් ගම්මැද්දේ හේනක්. ඒ සියල්ල අපට නැවුම් අත්දැකීමක් වුණා.

ඇවිද්දපය

               ලෝක සිතියමේ පුංචි තිතක් ආකාරයට දක්නට ලැබුණත් ශ‍්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් සපිරුණු දිවයිනක්' ඇලදොල" ගංගා" වෘක්‍ෂලතා ආදී ස්වාභාවික සම්පත් වගේම අතීතයේ සිට පැවතුණු අභිමානවත් සංස්කෘතියක්ද අප සතුව තිබෙනවා' සුන්දර ගම්මාන" පාරම්පරික කර්මාන්ත සොයමින් සිව් හෙලය පුරා සැරිසැරීම ඇවිද්දපය වැඩසටහනේ අරමුණයි'

            

යාපහුව

                යාපහුව ලංකාවේ සිව්වන රාජධානියයි. ගිරි දුර්ගයක පිහිටි යාපහුව රාජධානියේ පෞඬත්වය අදටත් නොනැසී පවතිනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා තිබෙන යාපහුවට කුරුණෑගල දඹුල්ල මාර්ගය ඔස්සේ මෙන්ම අනුරාධපුර ඇල්ල හරහා මාර්ගය ඔස්සේ ද පිවිසිය හැකියි.

රෝස තිරිවානා

අප රෝස තිරිවානා ලෙස හැඳින්වූවත් භූ විද්‍යාඥයින්ට අනුව මෙම පාෂාණ විශේෂය ක්වාර්ට්සයිට් ලෙස හැඳින්වෙනවා. මේ පරිසර පද්ධතිය සොබාදහමේ අපූරු නිර්මාණයක්. මුහුදු මට්ටමේ සිට මීටර් 300 ක් පමණ ඉහළින් පිහිටි මෙම කදු මුදුනට අවට ගම් දනව් අලංකාරව දර්ශනය වනවා.

වැව

           කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය කරගත් ශ‍්‍රී ලංකිකයන් සතුව උසස් වාරි කර්මාන්තයක් ද පැවතුණා. වැව් අමුණු ඉදිකිරීමේ දී දියුණු තාක්‍ෂණික ක‍්‍රමවේදයන් අනුගමනය කරන්නට අපේ මුතුන් මිත්තන් සමත් වුනා. අහසින් වැටෙන සෑම දිය බිදක්ම ප‍්‍රයෝජනවත් ලෙස යොදා ගන්නට අතීත රජ දරුවන් කැපවුණා. අනන්තය දක්වා දිවෙන කෙත්වතු අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කරන්නට ඔවුන් සමත් වුණා.

බිසෝකොටුව

          ඉංග‍්‍රීසි වාරි ඉංජිනේරුවන් මවිත කල අතිශය දියුණු උපකරණයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකියි. පුරාණ වාරි කර්මාන්තය සතුව තිබූ විශිෂ්ට ජල කළමණාකරණ හැකියාව බිසෝ කොටුව මඟින් පිළිබිඹු වනවා. ජල කද මඟින් වැව් බැම්ම මතට අධික පීඩනයක් ඇතිවීම වැළැක්වීම බිසෝ කොටුවේ කාර්යයි.

දියවර

          තම ජීවිත පැවැත්මට උපකාර වූ වැවට ගැමියන් දැක්වූයේ මහත් ගෞරවයක්. නව කන්නයේ ගොවිතැන් ආරම්භයට පෙර වැව් බැම්ම මත කිරි උතුරුවා දෙවියන්ට භාර වීම සෑම ගමකම දැකිය හැකි චාරිත‍්‍රයක්. ගමේ කපුමහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන මෙම කටයුත්තට ගොවියන් සියළු දෙනාම සහභාගි වනවා.

අරන්කැලේ


අතීතයේදී  රාජ්‍ය පාලනය කළ රජවරුන් වෙහෙර විහාර, සංඝාරාම ආරණ්‍යය සේනාසන කරවා භික්ෂූන්ට පූජාකර තිබෙනවා. අරන්කැළේ ඉපැරණි සංඝාරාමය එවැනි එක් ස්ථානයක්. ශක්තිමත් ගල් කුළුණු ආධාරයෙන් ඉදිකොට ඇති මෙම ඉපැරණි සංඝාරාමයට උණුපැන්හල්, පධානාගාර, සක්මන්මළු ආදිය ඇතුළත් වනවා.

ඇතුගල


වයඹ පළාතේ ප‍්‍රධාන නගරය වන කුරුණෑගල අතීතයේ දී හැඳින්වූයේ ඇතුගල්පුරය නමිනුයි. ඇතුගල් පුරයට පෞඬත්වය එක් කරන ඇතුගල මස්තකයට නැගුණ විට නගරය අවට මනරම් දසුන් මවනවා. ඇතුගල් පුරයට පැමිණෙන අවස්ථාවකදී පර්වත මස්තකයේ සිට එහි සුන්දරත්වය ඔබේ දෑසින්ම දැකගත හැකියි. මේ සදහා කදු නැගීමේ පලපුරුද්දක් අවශ්‍ය නොවන බවනම් කිව යුතුයි. මිනිත්තු පහක් වැනි කෙටි කාලයකින් ඔබ පැමිණෙ වාහනයෙන්ම ඇතුගල තරණය කිරීමට මාර්ග පහසුකම් තිබීම එයට හේතුවයි.

බිතුසිතුවම්


ගමේ පන්සල ගැමියන්ගේ සිත් සතන් පහන් හැගුමෙන් පුරවාලන ස්ථානයක්. කය වෙහෙසමින් කර්මාන්තයේ නියලූණු ගැමි ජනයා පන්සල තුළින් ධර්ම අවබෝධයක්, සිතට සහනයක් ලබා ගත්තා. බෝධිය, චෛත්‍යය මෙන්ම බුදු මැදුර ද මේ සදහා සුවිශේෂි දායකත්වයක් සපයනවා. බුදු මැදුරක් තුළට පිවිසි සැනින් සිත ධාන්‍යගත වන්නේ බුදු පිළිම හා අලංකාර සිතුවම් නෙත ගැටීමෙනුයි. වෙහෙස කර සිත් සතන් ධාන්‍යගත කරන්නට සමත්, බිතු සිතුවම් ඇදි සිත්තරුන් දේවත්වයෙන් සලකන්නේ ද මේ නිසාමයි. පාරම්පරික විහාර බිතු සිතුවම් ඇඳි සිත්තරුන් අතලොස්සක් වර්තමානයේ දී ද දැකගත හැකියි.

සේසත්

          ප‍්‍රභූ ජනයාගේ ගමන් බිමන් වලදී අව් ආවරණයක් ලෙස භාවිතා වු අව්අත්ත පසු කාලීනව ශ්වේත ඡත‍්‍රය හෙවත් සේසත ලෙස හැඳින්වුනා' පරපුරෙන් පරපුරට පැමිණි මෙම කලාශිල්පය මාතලේ උනවේරුව ගම කේන්ද්‍ර  කොටගෙන පවතිනවා' ගමේ සෑම නිවසකම පාහේ සේසත් නිර්මාණය කරන හෙයින්  උනවේරුව සේසත් ගම ලෙසද හැඳින්වෙනවා' තල් අත්ත හා මිනිරන් සේසත් නිර්මාණයේදී ප‍්‍රධාන අමු‍ද්‍රව්‍ය වනවා'

වටාපත

               බුදු දහමත් සමගම ලක්දිවට පැමිණි වටාපත් කලාව පසු කාලීනව කර්මාන්තයක් ලෙස වර්ධනය වුණා. ගලතරය යනු එලෙස පාරම්පරිකව වටාපත් නිපදවන ගම්මානයක්. අතීතයේදී තලපත‍්‍ර භාවිතයෙන් විවිධ නිර්මාණ සිදු කලත් අද වනවිට වටාපත් නිපදවීම පමණක් ගම්මානය තුළ දක්නට ලැබෙනවා.

සාදික්කා

සාදික්කා ගෙඩියේ විශේෂත්වය වනුයේ එක ගෙඩියක් තුළින් කුළුබඩු වර්ග දෙකක් ලැබීමයි. එනම් සාදික්කා ඇටය සාදික්කා ලෙසත්, එහි සිවියක් වැනි රතුපැහැ ආවරණය වසාවාසි ලෙසත් භාවිතයට ගන්නවා. ලෝක වෙළද පොළෙහි අපේ කුළු බඩු වලට ඇත්තේ විශේෂ ඉල්ලුමක්. අතීතයේ දී හොද අපනයනයක් වූ කුළුබඩු, වර්තමානයේ දී හදුන්වන්නේ සුළු අපනයන බෝග ලෙසයි. අපේ රටේ සාරවත් පොළවේ වැඩෙන රසවත් මෙන්ම ගුණාත්මක කුළුබඩු බෝග වගාව සක‍්‍රීය කිරීම ඉතා වැදගත් කාර්යයක්.

මිණිකැට


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලැබීමට ශ‍්‍රී ලංකාවේ තිබූ මැණික් හේතුවක් වුනා. වර්තමානයේ දී මැණික් කර්මාන්තය විවිධ පැතිකඩ ඔස්සේ වර්ධනය වී තිබෙනවා. මැණික් කර්මාන්තය කෙතරම් තාක්‍ෂණික දියුණුවක් ලැබූවද මේ මිනිසුන්ගේ දහඩියේ බලය කර්මාන්තයේ උන්නතියට මනා පිටිවහලක් සපයන බව නම් ඒකාන්තයි